Wednesday, August 26, 2020

අපේ සිංහල ජන කවිය 1කොටස


අතීත ජනයා තමන්ගේ කාන්සියත්, වෙහෙසත් නිවා ගැනීම සඳහා යොදා ගත් ජන කවිය විවිධ ක්‍ෂේත්‍රයන්, වෘත්තීන් ඔස්සේ නිර්මාණය වී ඇත.මෙම ජන කවි ගැමියාගේ ස්වයං නිර්මාණ වශයෙන් දැක්විය හැකිය. සෑම සාහිත්‍යක ම වාගේ උගත් කවීන්ගේ මෙන්ම ජන කවීන් ගේ නිර්මාණ ද දක්නා ලැබේ. සිංහල සාහිත්‍යයයේ ද මේ ස්වභාවය ඇත. උගත් කවීහු සම්මත වියරණ රීති හා ඡන්දස් අලංකාර රීතීන්ට අනුගත වෙමින් නිර්මාණකරනයේ යෙදෙති. සම්භාවය කාව්‍ය ගණයේ ලා සැලකෙන කවි සිළුමිණ, සසදාවත, මුවදේවුදාවත යන ගී කාව්‍යයන්ගේ පටන් සන්දේශ කාව්‍ය, උපදේශ කාව්‍ය , බොහෝ පැරණි කෘතීන් හි නිරූපණය වන්නේ මෙම විදග්ධ කාව්‍ය රීතියයි. ජන කවිය බිහි වූයේ විධිමත් අධ්‍යාපනයක් නොලද සාමාන්‍ය ගැමි ජනයා අතුරිනි. යම්කිසි ජන කොට්ඨාසයක සිතුම් පැතුම්, සැප දුක් මෙන්ම ඔවුන්ගේ ඇදහීම්, ඇගයීම්, ජීවනෝපාය ආගමික පෝෂණය හා ගැමි සෞන්දර්යය ද ජන කවිය මගින් හෙළි වෙන බවයි. ජන කවි ජන ශ්‍රැති විශේෂයක් ලෙස සැලකේ. ඊට හේතුව කාලාන්තරයක් මුළුල්ලේම මේ නිර්මාණ පොදු ජනයා අතර පරම්පරාවෙන් පරම්පරාවට අලිඛිත ව පැවත ඒමයි. පැල් කවි, පාරු කවි, නෙළුම් කවි, පතල් කවි ආදී විවිධ ජන කවි ප්‍රබේධ අද ලිඛිත ව ඇතත් මේවා අපට උරුම ව ඇත්තේ කටින් කට පැවතෙමින් පරපුරෙන් පරපුරට ආරක්‍ෂා වූ නිසා ය. සිංහල ජන කවි අතරට ගැනෙන ලිඛිත ජන කාව්‍ය ග්‍රන්ථ කිහිපයක් ද ඇත. යසෝදරා වත, වෙසස්න්තර ජාතක කාව්‍ය, තුන්සරණය යනු ඒවා ය. එමෙන්ම ගජමන් නෝනා, රංචාගොඩ ළමයා, අන්දරේ ආදි ප්‍රකට ජන කවීන් ගැනද අසන්ට ලැබේ. උගතුන් විසින් උගතුන් සඳහා රචනා කරන ලද විදග්ධ කවියෙන් ජන කවිය වෙනස් වනුයේ ජන කවි තුළ දක්නට ලැබෙන අව්‍යාජත්වය, පුනරුක්තිය, අනුවේදනීයත්වය, සංයමය ආදී ලක්‍ෂණ නිසා ය. වී ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කර ගත් සරල කෘෂිකාර්මික සමාජය ජන කවිය සඳහා උල්පත විය. ගොයම් කවි, නෙළුම් කවි, පැල් කවි, කුරක්කන් කවි ආදී වශයෙන් ජන කවියෙහි විවිධ ස්වරූප අපට දැකිය හැක. මේවා බිහි වූයේ කෙත, හේන හා පැල ඇසුරු කොට ගෙනය. ගැමි කතුන් එක් ව ගොයම් පැළ සිටුවීම, වල් පැළ ඉදිරීම හෝ ගොයම් නෙළීමේ දර්ශනයක් ගැමි කවියාගේ සිත පිබිදවීමට තුඩු දෙන සුන්දර අත්දැකීමකි. එය සහජ කුසලතාවයෙන් පිරිපුන් ජන කවියකුගේ අතින් රසවත් කවියකට පෙරළී ඇති අයුරකි මේ.

දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් බැලුම්
මහවැලි ගගේ දිය ඇදලා කෙතට ගිලුම්
බොළඳ ලියන් කර ඔසවා බලන බැලුම්
තුන්පත් රටාවයි දුම්බර කෙතේ නෙළුම්

කෙත හෙවත් කුඹුර ගැමියාගේ ස්වයංපෝෂිත ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයයි. කෙත ආශ්‍රිත වැඩ කටයුතුවල දී ගන්නේ උත්සවශ්‍රීයකි. කෙත මඟින් බත සපයා ගැමියන්ගේ කුසගිනි දුරු කරනවා පමණක් නොව ඔවුන්ගේ අනේකවිද දුක් දොම්නස් හා ජීවන සරතස පළවා හැර සන්තෘප්තිය ළඟා කෙරේ. කෙතෙහි සුන්දරත්වය ගැමියා දැක ඇති ආකාරය මේ කවියෙන් කියැවෙයි.

කෙතක ගොයම් පැළ නිල දිලිසෙන වා
විටෙක ඉඳන් මල් උයන් තනන වා
කෙතක ඉඳන් මල් මාල ගොතන වා
මලක බඹරු බස් වට නද දෙන වා

0 comments:

Post a Comment